පීතෘ කෙටිකතාව l අහිමි වී ගිය පිය සෙනෙහසක වා තලයට මුසු වූ ශෝකාන්තය

 පීතෘ කෙටිකතාව

අහිමි වී ගිය පිය සෙනෙහසක වා තලයට මුසු වූ ශෝකාන්තය



ජීවිතේ කියන්නෙ හරි අමුතු කතාවක්...සමහර වෙලාවට මේ කතාව අපිව හිනස්සනවා...සමහරවෙලාවට මේ කතාව අපිව අඩවනවා......ඒත් හැරිලා බලද්දි අපි වැඩිපුරම කරලා තියෙන්නෙ ඒ දෙකෙන් මොකද්ද?
අඩල ද?
හිනාවෙලා ද?
මේ ප්රශ්න දෙක ඔයා ඔයාගෙන්ම අහලා බලන්න...........
මම ඉපදුනේ 1987 ජනවාරි 05 අනුරාධපුර පැත්තෙ තියෙන පොඩී ගමක .....
අපේ ගමට නිතරම වගේ ත්රස්තවාදීන් ඒ කියන්නෙ කොටි කඩාවැදුනා...
මගේ අම්මා මාව අරගෙන ගියා නුවර ලොකු මහත්තයෙක්ගෙ ගෙදරකට....
ඒ ගෙදර වත්තෙ පිටියෙ කුස්සියෙ බැල මෙහෙවර කරගෙන වැටිලා ඉන්න පොඩි මඩුවකුයි..තව අපෙ අම්මගෙ අතට සොච්චම් මුදලකුයි ලැබුනා..
මගේ අම්මා මාව හදාගත්තේ බොහොම දුක් මහන්සියෙන් ... අපේ අම්මා ලොකු මහත්තයට පින්සේන්ඩු වෙලා මාව ගමේ ඉස්කෝලෙට දා ගත්තා..
ලොකු නෝනා නම් හැම වෙලාවෙම කිව්වෙ " සිරියෝ ඕකව ඉස්කෝලෙ ඇරලා මහ ඒජන්ත කරන්ටෑ...ඕකට ඔය කුලියක් මලියක් කරන හැටි උගන්ටපිය " කියලයි...
ඒත් මගේ අම්මා මට නිතරම කිව්වෙ "පුතේ උඹ ඉගෙනගෙන මේ මල අපායෙන් මිදියන්" කියලා....
ඉපදුන දවසෙ ඉදන් කවදාවත් මගේ තාත්තව මම දැකලා නැහැ....
අම්මගෙන් මම දහස් වාරයක් අහලා ඇති ..." අම්මේ..... තාත්තා කෝ අම්මේ ? " එහෙම අහපු හැම වෙලාවෙම මගෙ අම්මා මට දුන්නෙ එකම එක උත්තරයයි....
"තාත්ත ලා වගේ අය නිසා තමයි පුතේ මිනිස්සු හුස්ම ගන්නේ..."
අම්මා කියන විදිහට මගේ තාත්තා යුධ හමුදාවේ ...
අම්මයි තාත්තයි මුනගැහිලා තියෙන්නෙ තාත්තා අපේ ගමට ඩියුටි ආවහමලු.....
ඊට පස්සෙ තාත්තයි අම්මයි හාද වෙලා කසාද බැදලා තිබුනේ..
මගේ අම්මා ගාව තිබුනේ තාත්තාගෙ එකම එක ෆොටො එකයි....
ඒකත් ඉරිතැලුනු අපැහැදිලි පොඩි ෆොටෝ එකක්........
හැමදාම මං මග බලාගෙන හිටියේ මගේ තාත්තා ගෙදර එනකම්..
මම මගේ පුංචි හදවත ඇතුලේ ලොකුම ලොකු හීන මැව්වා ... මගේ තාත්තා මාව බලන්න එන විදිහ ගැන.............
ගමේ ඉස්කෝලෙට මම ආසාවෙන් ගියත් ගමේ ඉස්කෝලෙ ලමයි මාව පිලිගත්තෙ ආසාවෙන් නම් නෙවෙයි.....
මගේ නම "කුසල්" උනාට ... මගේ ඉස්කෝලෙ ලමයි මට කිව්වෙ "හිගන මඩුවෙ අවජාතකයා" කියලා ...
මට පොඩි කාලේ ඒ වචන වල තේරුම දන්නෙ නැති උනාට..මම ඒ වචන වල තේරුම මගෙ අම්මගෙන් අහන හැම වෙලාවකම මගේ අම්මා කලේ මාව තුරුලට අරන් අඩපු එක....
එහෙම කරනකොට මට ටික ටික ලොකු වෙද්දි තේරුනා ඒ වචන වල බරපතල කම..
ඊට පස්සෙ කවදාවත් ම, මම මගෙ අම්මගෙන් ආපහු ඒ වචන වල තේරුම ඇහුවෙ නැහැ.....
මට පොඩි කාලෙ ඉදන් ටිකක් හරි අනුකම්පා කරපු උදවිය උනේ ලොකු මහත්තයයි එයාගෙ පවුලේ උදවිය යි විතරයි..
කොහොමින් කොහොමහරි මම පහ වසරෙ ශිශ්යත්ව විභාගයට ගියෙ ඉරුණු සුදු කමිසෙකුයි... ලොකු මහත්තයගෙ පුතාගෙ පරන ලොකු ඉස්කෝලෙ කලිසමකුයි ඉල්ලගෙන...
කුප්පි ලාම්පුවෙ පිහිටෙන් අකුරු ගැටගහත්තු මට , ශිශ්යත්වෙට ලියන එකම මහමෙරක් උනා..
ලොකුවට ලොකුවෙ ඇදන් ගිය කලිසම උස්ස උස්ස ,කමිසෙ ඉරුණු තැන අතින් වහගෙන සෙරෙප්පු දෙකක් වත් නැතිව මම ශිශ්යත්වෙ ලියන්න ගිය හැටි මතක් වෙනකොට අදටත් ඇස් දෙකට කදුලු පිරෙන එක මට නවත්තගන්න බැහැ....
ශිශ්යත්වෙන් පස්සෙ මම අම්මා එක්ක ලොකුමහත්තයගෙ ගෙදර වැඩට ගියා...
ලොකුමහත්තයගෙ ලමයින්ගෙ පොඩි පොඩි වැඩ කරන්න දුන්නෙ මට...
මම ඒවා මට පුලුවන් තරමට කලා...
මට ඒවා වැරදුනු වෙලාවට නෝනා මට ඔලුව හිල් වෙන තරමේ ටොකු දුන්නා.....
හැම වැඩක්ම පිලිවෙලට කරන්න ඒ ටොකුපාරවල් මට කියලා දුන්නා...
ශිශ්යත්ව විභාගෙ ප්රතිඵල එන දවසෙ මගෙ අම්මා මගේ අතින් ඇදගෙන ඉස්කෝලෙට ගියා..
ගමේ ගොඩ දෙනෙක් ඇවිත් හිටියා තමන්ගෙ දරුවගේ ප්රතිඵල බලන්න... සමහරුන්ගෙ මූණ ඇඹුල් වෙලා සමහරු සතුටින් ...
මං බයේ උන්නෙ මගේ අම්මා කොහොම ඉදිවිද කියලා අම්ම සතුටින් හිටියොත් මං පාස් .... හැබැයි දුකින් ආවොත් නම් ඒකාන්තෙන් පේල්...
"පුතේ කට්ටිය අඩු උනා..උඹ ඔහොම ඉදින් මං බලලා එන්නම්..." අම්මා එහෙම කියලා ප්රතිඵල බලන්න ගියා...
ඒ දවස මට අද වගේ මතකයි...ගියාට වඩා ඉක්මනින් ආපහු ආපු මගෙ අම්මා මාව තුරුල් කරන් ඇඩුවා...."උඹ පාස් වෙලා මගෙ දෙයියො" ඒ වචන ටික අදටත් මගේ කන් වල රැව් දෙනවා...
ඉස්කෝලෙ මහත්තයා ඒ වෙලාවෙ කතා කරලා මගේ අම්මට මොන මොනවදෝ කිව්වා... ගහකට හේත්තු වෙලා මං ඒ දිහා බලාන හිටියා .... ඉස්කෝලෙ මහත්තයා කතා කරලා ඉවර වුනාට පස්සෙ අම්මා මාව ඇදගෙන ගියා ලොකු මහත්තයගෙ ගෙදර...
වලව්වෙ ඉස්සරහ හාන්සි පුටුවෙ දිගැදිලා හිටපු ඉස්කෝලෙ මහත්තයා, මගේ අම්මා මාව ඇදගෙන එනවා දැකල හෙමීට ඔලුව උස්සලා බැලුවා...
මොකද සිරියො ඔය කොලුවව හරකෙක් දක්කනවා වගේ ඇදගෙන එන්නේ...
මහත්තයො ...
මගේ කොලුවා විභාගෙ පාස් වෙලා .... ඉස්කෝලෙ මහත්තයා කියනවා දිස්ත්රික්කයේ වැඩිම ලකුණුලු...
කොලුවො ගිහින් ලොකු මහත්තයාට වැදපන්... අම්මා කනට කරලා කිව්වා..
මහපට ඇගිල්ලෙන් පොලොව
හාර හාර ඉදපු මම දුවගෙන ගිහිල්ලා ලොකු මහත්තයට දන ගහලා වැන්දා...
ඒ වෙලාවෙ මම නැගිටිනවත් එක්කම ලොකු මහත්තයා මගෙ අත් දෙකෙන් අල්ල ගත්තා..
දරුවෝ ඉගෙනීම මිනිසා සම්පූර්ණ කරනවා... ඒක මතක තියාගන්න... එහෙම කියපු ලොකු මහත්තයා මගේ ඔලුව අතගෑවා...
ඉස්තෝප්පුවෙ මොකද වෙන්නෙ බලන්න ඒ වෙලාවෙ ලොකු නෝනත් ආවා... ලොකු මහත්තයා මගේ විස්තරේ කිව්වට ලොකු නෝනගෙ ඒ තරම් හිතහොද නෑ...
ලොකු නෝනා අපිව මග ඇරලා ආපහු ගේ ඇතුලට ගියා...
දැන් සිරියො ඉස්කෝලෙ මහත්තයා මොකද කියන්නේ.. ලොකු මහත්තයා ඇහුවා....
ඉස්කෝලෙ මහත්තයා කියනවා... කොලුවව ටවුමෙ ලොකු ඉස්කෝලෙට දාන්නම් ලු...
ඒත් ඉතිම් මහත්තයො ඔය ලොකු ලොකු ඉස්කෝල වලට යන්න මේ හිගන අපිට පුලුවන් යෑ...මගේ අම්මා කිව්වෙ ඇස් වලින් කදුලු බේරි බේරි...
කොලුවා ට ඉගෙනගන්න මං උදව් කරන්නම් සිරියෝ ...
කොලුව ඉගෙනගෙන ඉවර වෙනකම් මම කොලුවට ඉගෙනගන්න උදව් කරන්නම්..
මගේ උන් ඉගෙන ගන්නෙ නැති උනාට හොදට ඉගෙන ගන්න පුලුවන් වෙන එකෙක්ට හරි ඉගෙන ගන්න උදව් කරන එක පිනක් නෙ සිරියෝ ....
ලොකු මහත්තයගෙ ඒ වචන ටික ඇහුන මගේ අම්මා ලොකු මහත්තයගෙ දෙපා වැදලා කිව්වෙ ලොකු මහත්තයා ට බුදු බව අත් වෙනවා කියලා...
කුප්පි ලාම්පු වලින් එලිය වැටුනු අපේ පැල් කොටේට ... ලොකු මහත්තයා ලයිට් එලිය අරන් දුන්නා..
ඉස්කෝලෙ මහත්තයා මාව ටවුමෙ ලොකු ඉස්කෝලෙ ට දැම්මා...
ලොකු මහත්තයා මට අලුත් ඉස්කෝලෙ යන්න ඕන කරන හැම දෙයක්ම අරන් දුන්නා..
ජීවිතේ පලවෙනි වතාවට මම, බාගයක් ගෙවුනු සෙරෙප්පු දෙක වෙනුවට අලුත්ම ආලුත් ලස්සන කලු පාට සපත්තු දෙකක් දැම්මා...පොත් ගෙනියපු සිලි උරේ වෙනුවට අලුත්ම අලුත් බෑග් එකක්.. ඒ දවස මට අද වගේ මතකයි....
අම්මා මාව බදාගෙන ගොඩක් ඇඩුවා..අම්මව සනසන්න කියන්න දෙයක් තිබුනේ නැහැ...
මගේ හිත කිව්වෙ "තාත්තා වත් හිටියනම්" කියන දේ විතරයි
අලුත් බලාපොරොත්තු ගොන්නක් හිතේ දරාගෙන මම එදා ලොකු ඉස්කෝලෙට ගියා... ලොකු ඉස්කෝලෙ ලමයි " හිගන මඩුවෙ අවජාතකයා " වෙනුවට මට කිව්වෙ " කුසල් " කියලා.....
ලොකු මහත්තයගෙ පිහිටෙන් මම හොදට ඉගෙනගත්තා .... සාමාන්ය පෙල විභාගයෙන් අති විශිෂ්ඨ සාමාර්ථයක් මම ලබා ගත්තා... ලංකාවෙන්ම 23 වෙනියා...
දුක් විදලා දුක් විදලා නහර ඉලිප්පුන මගේ අම්මගෙ අත් දෙකෙන් මාව තුරුලට අරගෙන මගේ කොල්ලට දළදා හාමුදුරුවන්ගෙම පිහිටයි කියලා අම්මා කියද්දි ,අම්මාගෙ කදුලු මගේ බෙල්ල දිගේ රූරගෙන ගියා...
මගේ අම්මව කවද හරි මම රැජිනක් වගේ බලාගන්නවා.... මම තනියම හිතුවා...
ලොකු මහත්තයගෙ පොල් ඉඩමේ ගණන් හිලව් බැලුවෙ මම .. ලොකු මහත්තයා මගේ ඉගෙනීමට හැම මාසෙකම මට ම කියලා හදපු බැංකු ගිනුමට අමතරව... එදිනෙදා වියදමට පොඩි මුදලක් දුන්නා....
අනේ ඇත්තටම ලොකු මහත්තයා දෙවියෙක්......
මම උසස් පෙළ කලේ ජීව විද්යා අංශයෙන්..... මට ඕන උනෙ Doctor කෙනෙක් වෙන්න...
" සිරියගෙ කොලුවෝ ?"
"ලොකු මහත්තයො ?"
"උඹේ අම්මා මොන තරම් පින් කරල ඇතිද උඹ වගේ එකෙක් ලබන්න.., මටත් උඹ වගේ එකෙක් හිටියම්.." ලොකු මහත්තයා එහෙම කියලා ඇස් දෙකෙන් වැටුන කදුලු පිහදාගත්තා...
මේ ලෝකෙ මොන තරම් වෙනස් ද?
ඇයි අපිට ම මෙහෙම උනේ? පොඩි කාලෙ මට නිතරම එහෙම හිතුනත් .. දැන් හිතෙන්වා හැමදේම වෙන්නෙ හොදට වෙන්න ඇති කියලා....
උසස් පෙළ විභාගෙත් මම හොදට පාස්....
ලොකු මහත්තයො මම මෙඩිකල් ෆැකල්ටි .....මම එහෙම කියද්දි මගෙ අම්මා පැත්තකට වෙලා කදුලු හලනවා...ලොකු නෝනා නම් හිටියෙ මූන අදුරු වෙලා...
සිරියගෙ කොලුවො
මං දන්නව උඹට වරදින්නෙ නැති බව..
උඹ ඉස්කෝලෙ ගියා කියලා අනිත් කිසිම දේක අඩුවක් වෙන්න දීලා නැහැ....දැන් උඹ මොකද කරන්නෙ ?
උඹ අම්මාව දාලා යනවද?
ලොකු මහත්තයො අවුරුදු ගානක් ලොකු මහත්තයා තමයි මගේ තාත්තා වගේ මට පිහිට උනේ... මං ඉගෙනගත්තෙ ලොකු මහත්තයා හින්දා ... මං මේ ඉල්ලීම කරන එක සාධාරණ නැහැ... අම්මත් මේකට කැමති උනේ නැහැ...
කමක් නැහැ කොලුවො ..කියමු බලන්න...
මහත්තයො මං අම්මව කොලඹ එක්කන් යන්න කියලා... එහෙ ගිහින් ජීවත් වෙන්න ලොකු මහත්තයා මට මේ තරම් කල් දීපු දේවල් හොදටෝම ඇති..මට පොඩි රස්සාවක් උනත් එහෙදි කරන්න පුලුවන්නෙ....
උඹගෙ කැමැත්තක් කොලුවො.. මගෙන් බාධාවක් නැහැ...
ලොකු මහත්තයා එහෙම කිව්වට නෝනා නම් කැමති උනේ නැහැ... මම යන එකට ලොකු මහත්තයා ගොඩක් දුක් උනා....අපි කොළඹ යන්න කලින් මං තනියෙම කොළඹ ගිහිල්ලා කැම්පස් එක ගාවින් පොඩි කාමර කෑලි දෙකක් ගත්තා...
මටයි මගේ අම්මටයි ජීවත් වෙන්න ඒ හොදටම ඇති... අපි කොළඹ ආවට අම්මගෙ හිත තිබ්බෙ ම වලව්වෙයි අපේ මඩුවෙයි... මම කැම්පස් යන පලව්ව්නි දවසෙ අම්මා මගෙ බෙල්ලට මාලයක් දැම්මා ... ඒක අපේ තාත්තා මතක් වෙන්න තිබුන අන්තිම සිහිවටනෙලු....ඒකෙ ලස්සන පෙන්ඩන්ට් එකක් තිබුනා හරි වෙනස් එකක්...
කැම්පස් යන කාලෙ පුරාවටම ඉඩ තියෙන හැම වෙලාවකම කුලී වැඩක් කරලා කීයක් හරි හොයාගන්න මම අමතක කලේ නැහැ....
මොකද කුසල් මේ අත් දෙකම කරගැට ඇවිත් හම ගිහිල්ලා...?
කැම්පස් එකේ යාලුවො එහෙම අහන වාරයක් පාසා මම කලේ කතාව මගහැර ලා අත්දෙක හංගගන්න එක...
කැම්පස් ඉන්න අවුරුදු වල හැම අවුරුද්දටම දෙපාරක් අපි ලොකු මහත්තයා බලන්න ගිහින දවස් දෙක තුනක් අපේ මඩුවෙ ඉදලා එනවා...
ඒක අම්මගෙ ආසාවනේ
කොහොමින් කොහොම හරි කැම්පස් එකෙදිත් මම ඉහලම සාමාර්ථයක් එක්ක මම උපාධිය ගත්තා...
කැම්පස් එකෙන් ඩොක්ටර් කෙනෙක් විදිහට එලියට බහින දවසෙ මට දැනුනේ ලෝකය කොයිතරම් ලස්සන ද කියලා...
මට ඕන උනේ හෘද රෝග විශෙෂ දොස්තර වරයෙක් වෙන්න ... මගේ හැකියාව නිසාම චීනෙ විශේෂ ශිශ්යත්වයක් මට ලැබුනා...
මම අම්මාව මගේ හොදම යාලුවෙක් ට බලාගන්න කියලා අවුරුදු දෙකකට ලංකාවෙන් පිට ට ගියා...
මං එනකොට අම්මා හිටියෙ ඉස්පිරිතාලෙ ... අම්මට හාට් ඇටෑක් එකක් ඇවිත්... අම්මව හොදකරගෙන මම එක්කගෙන ගියෙ... හා හා පුරා කියලා මම ගත්තු මගේම ගෙදරට මගේම වාහනයෙන් ... අපේ ගෙදරට අපි ගිය නිසා හාමුදුරුවො වඩම්මලා දානයක් දුන්නා... ඒ දානෙට ලොකු මහත්තයයි ලොකු මහත්තයගෙ දුවයි ආවා...නෝනට අසනීප වෙලාලු....
එක දවසක් මම ජයවර්ධනපුර ඉස්පිරිතාලෙ ඉන්නකොට මගේ යුනිට් එකට අදුරන කෙනෙක් ඇඩ්මිට් උනා ... අනේ ඒ ලොකූ මහත්තයගෙ නෝනා.. ලොකු මහත්තයගෙ පවුලෙ උදවිය හොදටම අඩනවා...
මම ගිහින් ලොකු මහත්තයට කතා කලා...ලොකු මහත්තයට දෙයියො දැක්කාවගේ...
මම නෝනාගෙ රිපෝට්ස් බලලා වෙන්න ඕන දේ ලොකු මහත්තයට පැහැදිලි කලා... ලොකු මහත්තයාගෙ නෝනා ට බයි පාස් ඔපරේෂන් එකක් කරන්න ඕන...
ඔපරේෂන් එක ඉවරවෙනකම් ලොකු මහත්තයයි එයාගෙ දුවයි අපේ ගෙදර නැවතුනා... හෘද රෝග වෛද්ය වරයෙක් විදිහට මම ඉතා සාර්ථක ව ඔපරේෂන් එක කලා....
ඔපරේෂන් එකෙන් පස්සෙත් ටිකට් කපපු ලොකු නෝනාව අපේ ගෙදර මම දින කීපයක් නවත්තගත්තා මොක්ද .. ලොකු නෝනට ගොඩක් සාත්තු සප්පායම් කරන්න ලොකු නෝනගෙ දුවටවත් ලේලිටවත් පුරුදු නැහැ... ඒ රාජකාරිය කලේ අපෙ අම්මා...
ලොකු නෝනවයි මහත්තයවයි දුවවයි මම මගේම වාහනෙන් ගෙදරට ගිහින් බැස්සුවා... ගිහින් එද්දි ලොකු නෝනා මගේ අත් දෙක අල්ලගෙන කිව්වෙ පුතේ උඹට බුදු බව අත්වෙනවා කියලා...
ඔය විදිහට කාලය ගෙවිලා ගියා...
එක දවසක් හොස්පිට්ල් එකෙන් මහ රෑ කෝල් එකක් ආවා...
හදිසි ලෙඩෙක් ...
මම ඉක්මනින්ම හොස්පිට්ල් එකට ගියා.. ඒ පේශන් වටේටම පිරිලා හිටියෙ යුධ හමුදාවෙ උදවිය...ඒ පේශන්ගෙ කකුල් දෙකම කාලෙකට කලින් අයින් කරලා..ඒ බෝම්බෙකට අහුවෙලා.. මම ඒ පේශන්ව ICU එකට අරගෙන රිපොර්ට්ස් චෙක් කලා...
ඒ පේශන්ගෙ හාට් එක ලග බෝම්බෙකින් ඉතුරු උන පොඩි තහඩු කෑල්ලක් තියෙනවා .. නමුත් ඒක අයින් කලොත් ජීවිතේ අවදානම් නිසා අයින් කරලා නැහැ... දැන් මේ ලෙඩාගෙ තත්වෙටත් වග කියන්න ඕන මේ තහඩු කෑල්ල...
දවස් දෙකකට පස්සෙ පේශන්ගෙ තත්වෙ පොඩ්ඩක් සුව අතට හැරුනා...
මම පේශන්ව චෙක් කරන්න ලෙඩාගෙ මූන ලගට කිට්ටු උනා.. ඒ වෙලාවෙ මම පේශන්ගෙ පැත්තට නැවුන නිසා මගේ බෙල්ලෙ තිබුන ,අම්මා මගේ බෙල්ලට දාපු මාලෙ බිමට එල්ලුනා...
එක පාරටම ඒ මාලෙ අල්ලගත්තු ඒ පේශන් ඉකිගහන්න ගත්තා...
මට හිතාගන්න බැරිඋනා ... මාලෙ අතඇරපු පේශන් මගේ මූන දිහා බලාගෙන හිටියා...
කුසල් ... ඒ පේශන් මගේ නම කිව්වා...මට අදහගන්න බැරි උනා...
ඔයා කුසල් රත්නායක නේද? ඒ පේශන් එහෙම අහපුවහම මට උන් හිටිතැන් අමතක උනා... ICU එකේ තිබුන AC එකේ දි පවා මට හොදටම දහඩිය දැම්මා...
ටිකක් අමාරුවෙන් ඔලුව උස්සලා බලපු පේශන් මට කිව්වා එයාගෙ ලොකර් එකෙන් පර්ස් එක අරන් දෙන්න කියලා.. මම ඒක අරන් දුන්නා ... පර්ස් එකේ අස්සකින් එයා මට පොඩි ෆොටෝ එකක් අරන් දුන්නා...ඒකෙ හිටියෙ ඒ පේශන් තරුණ කාලේ... මොනවා මගේ අම්මත් ඉන්නවා ... තරුණ කාලෙ පොඩි ලමයෙක් වඩාගෙන... ඒ පේශන් ගෙ මූන දිහා බලපු මම ෆොටෝ එකත් ගුලි කරගෙන පේශන් ගෙ නම ආයෙත් සැරයක් බැලුවා...
මේජර් මහේශ් සේනාධි රත්නායක ..... දෙවියනේ ... හැමදාම ඒවි කියලා මම පොඩිකාලෙ ඉදන් හීන දැකපූ මගේ ජීවිතේ මම අහන්න ආසාවෙන් ඉදපු මගේ තාත්තා ගෙ නම ...
මම හෙමින් හෙමින් තාත්තා ලගට ගියා...
තාත්තා එයාගෙ වාරු නැති අත්දෙක දික් කරලා .. මගෙ පුතේ කියලා කිව්වා... මම ලගට ගිහින් මගේ තාත්තව බදාගත්තා...
මගේ ඇස්ව්ලිනුත් තාත්තගෙ ඇස් වලිනුත් කදුලු ගැලුවෙ සතුට වැඩිකමට...
මම ගෙදරට කෝල් එකක් අරන් අම්මට කතා කලා...
අම්මේ ... මගේ තාත්තව මට හම්බ වුනා...
මම ඒ ව්චන කිව්ව වෙලාවෙ මට ඇහුනේ අම්මගෙ අතින් ෆෝන් එක බිම වැටෙන සද්දෙ විතරයි...
මම ගිහින් අම්මව තාත්තා ලගට එක්කගෙන ආවා... පැය ගානක් අම්මා තාත්තා එක්ක කතාකලේ ඇස්වල කදුලු පුරෝගෙන...
තාත්තා ගෙ යාලුවෙක්ගෙන් තමයි අපි දැනගත්තෙ... ගමෙන් අම්මා මාව අරන් ගිය දවසෙ රෑ ගමේ හැමෝවම කොටි මරලාන්දාලා .කිසිම කෙනෙක්ගෙ මූන අදුනගන්න බැරි වෙන විදිහට... තාත්තා හිතලා තියෙනෙ අපිත් මැරුණ කියලා... මොකද තාත්තා ට අපිව හොයාගෙන එන්න විදිහක් තිබිලා නැහැ.. ඒ කාලෙමයි තාත්තා බෝම්බෙට අහුවෙලා තිබුනේ...
තාත්තා ව මට හම්බවෙලා දවස් දෙකකට පස්සෙ එයාට හොදටම අමාරු උනා... මම ඩොක්ටර් කෙනෙක් හැටියට හොදටම තේරුම් ගත්තා තාත්තා ඉන්නෙ අවසන් මොහොතෙ බව ... තාත්තගෙ ඔලුව මම මගෙ උකුල උඩින් තියාගෙන අතගෑවා.. තාත්තා මගෙ අතින් අල්ලලා තද කරගත්තා ... ටික වෙලාවක් යනකොට තාත්තගෙ අත ලිහිල් උනා...තාත්තගෙ හදවත ට ගහලා තිබුනු මැශින් එකේ සද්දෙ නැවතුනා...
මගේ තාත්තා ව මටයි මගෙ අම්මටයි හම්බවෙලා දවස් දෙකකට පස්සෙ ..තාත්තා මාවයි අම්මවයි දාලා සදහටම ජීවන ගමනින් සමුගත්තා..
---
•රිදුම් දී හිත අසන පැනයක් හදවතෙහි ඇත සැගවිලා
කුඩා කල සිට ඇසූ පැනයක් තනිකමේ සිට දුක දරා
මිතුරු මිතුරියො සිනහ සලමින ඇසුව වදනක් සිහි වුනා
කෝ නුඹේ පිය තුමා කොහේද ජාතකයි නුඹ අව කියා
•අවමාන මැද අවලාද මැද මෑණියන් මගෙ නොමර මා
හැදුවා මා උස් මහත් කරමින පුතේ නුඹ් මැණිකක් කියා
ගමෙන් නගරෙට ගියේ මා සිත දුක දරාගෙන හඩමිනා
විදුමැදුර වෙද පියනැගුවා මම නවක වෙදනෙක් වී එදා
•මව්නි නුඹෙ පුත වෙද දුරෙකු වී සැත්කමක් වෙත පිවිසුනා
මගේ ගෙල බැදි රන් මාලෙ දැක රෝගියා මගෙ වැලපුනා..
ඒ පුවත මගෙ රෝගියාගෙන් ඇසුව විට මා තිගැසුනා
මව්නි මට මගෙ පියා හමුවුන පුවත කියමින සතුටිනා..
•එදා දවසක ඔහුගෙ සේවය මව් රටට මගෙ හිමිවුනා
සිටින විට ලොකු කදවුරක ඔබ දෙපල ආලෙන් ලන් උනා
හිටි හැටියෙ දුර පලාතක් හට යා යුතුය ඔහු සැලවුනා
ආලයෙන් ඔබ දෙපලගේ පුත් රුවන වෙන්නට හැකිවුනා
•එදා ඔහු ගොස් ආවෙ නැත්තේ යුද්ධයට ඔහු බිලි උනා
ඔහුගෙ ලය අග යකඩ උනඩය තවම එහි ඇත සැගවීලා
පෙර කරපු ලොකු පිනෙන් ඔහුගේ ජීවිතය ඇත බේරිලා
නමුත් ඔත්පල වීලා ඔහු ඇත එකල වෙඩි උන්ඩය නිසා
•සමාවනු බුදු පුතේ කියලා ආදරෙන් මා අමතලා
ඔහුගෙ දරුපෙම දෝරෙ ගැලලා කදුලු වරුසා වැගිරුනා
සැනසිල්ලෙ මට මිය යන්න දැන් පුලුවනී මට කියාලා
පුතේ නුඹටයි මගේ උරුමය කියා අත උඩ වැතිරුනා
•වාවගනු බැහැ අම්මෙ මේ දුක සතුට සමගින් මුසුවෙලා
සතුට එමටයි පියානන් මගෙ හමුවෙලා ඇත සැගවිලා
වාවන්න බැහැ කෙසේ නම් විදවන්න දෝ මේ දුක කියා
අම්මෙ මාගේ පියානන් අද දෙදෙන අප දා නික්මිලා...
--
තාත්තා ගෙ අවසන් කටයුතු හමුදා ගෞරව සහිතව සිද්ධ වුනා...
තාත්තා ගෙ විශ්රාම වැටුප අම්මට දෙන්න තීරණය කලත් මමයි අම්මයි ඒ විශ්රාම වැටුප මගේ තාත්තා වගේම දහස් ගණනක් රණවිරුවන්ගෙ සුබසිද්ධිය උදෙසා "අපි වෙනුවෙන් අපි" අරමුදලට බැරවෙන විදිහට හැදුවා...
අන්තිමේදි මගේ දක්ශතා නිසා රටේ පලමු පුරවැසියා දක්වාම ප්රතිකාර කරන්න මට අවස්තාව ලැබුනා..
මම මගේ පත්වීම රණවිරුවන් උදෙසා වෙනස් කරගෙන මගේ තාත්තා වගේම උතුම් රණවිරු පීතෘ වරුන් සිය දාහස් ගණ්නකගෙ ජීවිත බේරගන්න මගේ උපරිම ශක්තිය කැපකලා...
හිගන මඩුවෙ අවජාතකයා වුනු මට .. තවත් අවජාතකයා කියන වචනෙට බය වෙන්න ඕන වුනේ නැහැ.. මට බය නැතුව කියන්න පුලුවන් මගේ තාත්තා රට ජාතිය වෙනුවෙන් ජීවිතය කැපකරපු අවංක රණවිරුවෙක් බව...
ලොකු මහත්තයගෙ වත්තෙ මඩුවෙ හිටපු පොඩි කොලු පැටියට ලොකු මහත්තයා එයාගෙ දුව ව විවහා කරලා දුන්නා...
මම අදටත් මගේ සම්පූර්ණ ශක්තිය කැපකරන්නෙ රෝගීන් වෙනුවෙන්...
මගේ අම්මා අදටත් නීරෝගී ව මාත් එක්ක ඉදන් එයාගෙ මුනුපුරු මිනිපිරියන්ගෙ හුරතල් බලනවා...
මේ ලෝකෙ ජීවිත් වන හැම කෙනෙක්ටම බලාපොරොත්තුවක් තියෙන්වා.. ඒ බලාපොරොත්තු ව ඉශ්ට වෙනකම් ඔයාගෙ උත්ස්හය අතාරින්න එපා..
හදවත් රෝග පිලිබද විශේෂඥ වෛද්ය සහ චීන විශේෂ වෛද්ය උපාධිය ලත් ජනාධිපති වෛද්ය ඒකකයේ ලාබාලතම
වෛද්ය කුසල් සේනාධි රත්නායක ....
- සමාප්තයි -
කතාව සහ කවි පද - D M Harshana Singhabahu
මෙහි එන නම් ගම් චරිත සියල්ල මා විසින් නිර්මාණය කරන ලද ඒවා බව කරුනාවෙන් සලකන්න
D M Harshana Singhabahu

Comments

Popular posts from this blog

Divorce Episode 2

Divorce Episode 1