Divorce Episode 1

 DIVORCE - (short story) 


කෙටි කතාව - පළමු දිගහැරුම


මේ අහනවා තමුසෙ හිතුවද මම තමුසෙව ආසාවෙන් බැන්දා කියලා....... මට මේ කසාදෙ කීයටවත් ඕන උනේ නැහැ......මේක මට අප්පිරියයි...


- එතකොට තමුසෙ කියන්නෙ තමුසෙව මම බලෙන්  බැදගත්තා කියලද....පුලුවන් කමක් තිබ්බ නම් කසාදෙට කලින් දවසෙ මම මැරෙනවා... තමුසෙට වඩා දස දහස් ගුණයක් මට මේක අප්පිරියයි....


................................


ජීවිතේ කියන්නෙ හරියට ලූඩො ගේම් එකක් වගේ ... කැටේ දානවා , ඉස්සරහට යනවා... සමහර අයගෙ ඉත්තො කැපෙනවා... ආයෙත් ඉස්සරහට යනවා... ආයෙත් කැපෙනවා.....


හ්ම්ම්ම් ... මං නොහිතපු තැනක අතරමං වෙලා....


උසාවිය ඉස්සරහ තිබ්බ ලෝයර්ස්ලගෙ ඔෆිස් පේලියෙ අන්තිම ඔෆිස් එක..... ඇටෝර්නි ඇට් ලොව්...ජනේන්ද්‍ර මයාදුන්න එනකම් මම  ඉස්සරහට වෙලා බලන්  හිටියෙ මගෙ හොදම යාලුවා අද උසාවියෙ වැඩ ටික කරලා ඉවර වෙලා එනකම්... 


මචං... හර්ශ.......උඹ කලින් එනවා කිව්වට හිතුවෙ නැහැ මෙච්චර ඉක්මන්ට එයි කියලා... 


ඔෆිස් එක ඉස්සරහ වාහනේ බොනට් එකට හේත්තු වෙලා හිටපු මාව දැකපු ගමන් ජිනේන්ද්‍ර හිනාවීගෙනම ලගට ආවා....


මොනවා කරන්න්ද බං... ජීවිතේ ඔහොම තමයි.. උඹව හම්බවෙලා මේක කියලා දානකම් මට කිසි සැනසිල්ලක් නැහැ... 


හරි එහෙනම් වරෙන් ඇතුලට .. අපි කතා කරමු.....ජිනේන්ද්‍රත් එක්කම ඔෆිස් එක ඇතුලට ගිහින් මම වාඩි උනේ මොනවා කියන්නද කියලා කිසි තේරුමක් නැතුව....


කොහෙන් පටන් ගන්නද , කොහෙන් ඉවර කරන්නද කියලා කිසි අදහසක් මගෙ හිතේ තිබ්බෙ නැහැ....


ඉදගත්තු සෝෆා එකට ඔලුව හේත්තු කරගෙන විනාඩියක් විතර ඇස් පියාගෙන කල්පනා කරපු මම එක පාරටම ඇස් ඇරලා ජිනේන්ද්‍ර ට කතා කරා....


ජිනේ.... .


ඔව් හර්ශ කියපං.....


 ජිනේන්ද්‍ර බල බල හිටපු ෆයිල් එක වහන ගමන් මං දිහා බැලුවා......


මට ඩිවෝස් එක ඕන.......


*****


හැමෝම ජීවිතේ හරියට පටන් ගන්නෙ එකම තැනින් නෙවෙයි.... ජීවිතේ පටන්ගන්නවා කියලා මං අදහස් කලේ..... හරි ගමනක්... ඒ කියන්නෙ අනාගතේ තීරණය කරන එක ගැන...


සමහරු ඕලෙවල් වලින් ... සමහරු ඒ ලෙවල් .. තවත් සමහරු ඩිග්‍රි එක.... මාස්ටර්ස්... පීඑච්ඩී....බිස්නස් ජොබ්ස්....  ඔන්න ඔය විදිහට එක එක තැන් වලින් පටන් ගන්නවා..... කියන්න සන්තෝසයි මිත්‍රවරුනි මම කොහෙන්ද ස්ටාර්ට් කලේ  කියලා මටවත් හිතාගන්න බෑ...... 


ඕලෙවල් හොදට කරගෙන හැමෝම වගේ ඒලෙවල් කරන්න ගත්තෙ රෑන්ක් එකක් දාන්න හිතාගෙන.... අයිලන්ඩ් රෑන්ක්...... හ හා .... හරි විහිලුයි.... ෆ්ස්ට් ටර්ම් ටෙස්ට් එකෙන් පස්සෙ අයිලන්ඩ් රෑන්ක් එක ඩිස්ට්‍රික් රෑන්ක් එකක් උන අපූරුව කියලා වැඩක් නෑ..... ඒ විදිහට අවරෝහණ පටිපාටියක් ගත්තු රෑන්ක් එක අන්තිමට නැවතුනේ....තිස්තුන්කෝටියක් දෙවි දේවතාවුන්ගේ  පිහිටෙන් ෆේල් නොවී.... එස් අකුරක් හෝ ලැබේවා...කියලා සාදු සාදු කිව්වට පස්සෙ.......


මට එහෙම කියන්න උනේ අර මැසේජ් එක දහ දෙනෙකුට ෆෝවඩ් කරපු නැති නිසා නම් නෙවෙයි.....


කතාවක් තියෙනවනේ පිරිමියෙක්ගෙ සාර්ථකත්වය  වගේම නැත්තට නැති කරලා දාන්නත් කාන්තාවකට පුලුවන් කියලා..... සාර්ථක සීන් එක අහලා තිබ්බට අනිත් එක වැඩිය අහලා නෑ නේද ? ඔව් ඒක කට්ටිය කියනවා අඩුයි.. අනකොමන්... ඒත් සීයට අසූවක්ම වෙන්නෙ ඒක.....


ඒලෙවල් කාලේ ෆුල් ආතල් එකේ එෆ් ෆෝ ලා වගේ ක්ලාස් එකේ හිටපු අපි සෙට් එකේ මගේ ෆන් නැති වෙලා ගියා....  හයියෝ ලකුණු අඩුයි..... මෙදා පාර නම් ඉදලා හමාරයි.... දෙසැම්බර් එක්සෑම් එකෙන් පස්සෙ හොද ලමයෙක් වෙනවා  කියලා හිතාගෙන නිවාඩු දවසෙ උදේම පිටත් උනා.....


නැහැ නැහැ පන්සලට නෙවෙයි.... පඩුරක් දාගෙනම ලයිබ්‍රරි ගියේ අදවත් ගණ දෙවි නුවණ පහල වේවා කියලා හිතාගෙන.... හැබැයි එදා නොගිය නම් ජීවිතේ ගොඩක් වෙනස් වෙන්න තිබ්බා.. 


උදේම ගිය නිසා වැඩිය කවුරුත් හිටියෙ  නැහැ.... ඉතින් අයිනක් අල්ලගෙන පැයක් විතර පොත දිහා බලාගෙන භාවනානුයෝගී වෙලා ඈනුමක් යනවත් එක්කම පොත වහලා නැගිටලා ගියෙ බඩගින්නට මොනවහරි බඩට දාගෙන එන්න.....


මදැයි කොලා..... මං ගිහින්  එනකොට සතුරු ආක්‍රමණයක් හත්දෙයියනේ.....මගේ ප්ලේස් එකට ගැහැණු ලමයි ටිකක් ඇවිත්... හරියටම තුන් දෙනෙක්.... මුන් මගේ පොතුත් එහාට කරලා වාඩිවෙලා....


මල වැඩි කිරීම මල වැඩිකිරීම මල .... පැන්නා මලේ ඝනය..... ගියා කෙලින්ම උන් ලගට... එක්ස්කියුස් මී  නන්ගි... ඔයාලා ඉන්නෙ මගේ තැන..... මම ටිකක් හඩ ගොරෝසු කරලා කිව්වා.... 


අනේ සොරි.... ඉඩ තිබ්බෙ නැති නිසා අපි වාඩි උනා.... අපි නැගිටලා යන්නම්..... හරි අහිංසක විදිහට මගෙ පුටුවෙ වාඩිවෙලා හිටපු ගෑනු ලමයා කිව්වා....


ඒ කිව්ව විදිහට පපුව පිච්චිලා ගියා... මේ ලමයි මෙතනින් නැගිට්ටවන්න හොද නැහැ... එහෙම උනොත් ඒක පාපයක්... මේ වගේ තැනකට ඇවිත් එහෙම කරන එක හොද නැහැ.... මුන් තුන් දෙනා සාප කලොත් විභාගෙත් පේල් වෙයි.... එහෙම හිතපු මම ඒ තුන්දෙනාටම තැන දීලා ගෙදර ආවේ, විභාගෙ ගැන රිස්ක් එකක් ගන්න බැරි නිසා...


ඊට පහුවදා උදේම නැගිටලා රිවිශන් ක්ලාස් ගියේ යාලුවොත් එක්ක ඉක්මනින් සෙට් වෙන්න ඕන නිසා... ඉක්මන්ට ගියාට ඉක්මන්ට ක්ලාස් එක ඇතුලට යන්නෙ කවුද .? සර් එන්න විනාඩි දහයකට විතර කලින් අපි ක්ලාස් එක ඇතුලට ගියා... 


අහෝ ඛේදයකි....ඉරකි තිතකි...මෙන්න බොලේ ඊයේ ලයිබ්‍රරි එකේ හිටපු කෑලි තුන ක්ලාස් එකේ...


මේ විදිහට සති දෙකක් විතර යන්න ඇති.. .fb රික්වෙස්ට් එකක් ආවා.. නම දිනන්‍යා ගෝතමී...මූන  ටිකක් දැකලා පුරුදුයී..... ගිහින් බැලුවා ප්‍රොෆයිල් එකට..... ...


අම්මටසිරි ....ලයිබ්‍රරි කෑල්ල..... සෙනිකව ඇක්සෙප්ට් කලා රික්වෙස්ට් එක...


විනාඩි දහයකට පස්සෙ තමයි ආවේ මාව කාලා දාපු මැසේජ් එක.. "හායි...මේ අපේ ක්ලාස් එකේ 


, අර එදා ලයිබ්‍රරි එකේ හිටපු ලමයා නේද ?"


ඔන්න ඒ විදිහට පටන් ගත්තු මැසේජ් කිරිල්ල නැවතුනේ අපි සෙට් වෙලා ලව් කරලා එයා මට බූටකුත් තිබ්බට පස්සෙ....


****


ඩිවෝස් වෙන්න.....? හර්ශ උඹට පිස්සුද බං... මොලේ හොද නැද්ද උඹට 


ජිනේ....මට වෙන විකල්පයක් නැහැ බං ... වෙන විකල්පයක් නැහැ....කොයි තරම් ස්ට්‍රෙස් එකකින්ද මං ජීවත් වෙන්නෙ....


ඒත් මචං ඒ වගේ කෙනෙක්....


මේ අහපං ජිනේ.... ඒකි මේ ලොකෙටම හොද උනත් වැඩක් නැහැ...මට හොද නැත්තම්....


******


එතනින් පස්සෙ අවුරුද්දක් විතර තන්කඩ ලෝකෙ සුන්දරත්වය වින්දා.... ඉතින් යන්තන් සන්තන් එලෙවෙල් ගොඩදාගෙන ගියා රැල්ලට අහු වුන බෝට්ටුවක් වගේ කෝස් එකකට......


මම මේ ලෝකේ වැඩිපුරම ආදරේ කරපු මගෙ වස්තුව මට හම්බවුනේ එතනදි....ශෝභා......ශෝභා රණසිංහ . කතාවක් තියෙනවනේ....දැකපු පලවෙනි මොහොතෙම ආදරේ කරන්න පටන් ගන්නේ ලියවිලා තිබ්බ කෙනාට කියලා....


ඔව් එයාව දැකපු පලවෙනි දවසෙම මම එයාට ආදරේ කරන්න පටන් ගත්තා... එයාට තිබ්බෙ හරි ලස්සන රවුම් මූණක්... හීනි ඇස් දෙකක්.. ඉණ ලගටම දික් වුණු ලස්සන කොණ්ඩයක්... 


ක්ලාස් ගිහින් වැඩිපුරම කලේ.. එයා දිහා බලන් හිටපු එක....එයාගෙ ලස්ස්න මූණ දිහා කොයිතරම් වෙලා බලන් හිටියත් මට එපා උනේ නෑ....


ජිනේ....අර කෙල්ලගෙන් මට අහන්න ඕන බං....


ඉතින් උඹ ඕක මට කිය කිය ඉදලා හරියනවද ? ගිහින් අහපං....


හරි මේ අහපංකො ජිනේ... උඹ කොහොමත් ලෝයර් කෙනෙක් වෙන්නනෙ හදන්නෙ....උඹට බැරිද උඹේ නීතිමය මොලේ දාලා ඒකිට සිකුරුට්ටෙක් ඉන්නවද කියලා හොයලා බලන්න....


නම ගම විස්තර උඹ දන්නවනේ.... ඒකිට අම්මා තාත්තා නෑ... අත්තම්මා ගාව හැදෙන්නෙ... වාර්තා වලට අනුව නම් පෙර වැරදි නැහැ... දුසිරිතෙන් තොරයි... ඒ වගේම තනිකඩ යුවතියක්..


ඈ ඕයි... තමුසෙ කොහොමද ඕවා දන්නෙ... මං හොයන්න කියලා කිව්වෙ දැන්නේ... ජිනේ කිව්ව විදිහට මං එක පාරටම ඩිම් උනා....


උඹව මං දන්නෙ පොඩි කාලේ ඉදලා....ඉතින් උඹ ඕක අහනවා කියලා දැනගෙන මං කලින්ම හොයලා තිබ්බා...


උඹ නම් පට්ට ලෝයර් කෙනෙක් වෙනවා බං..... මතක් කරපං ක්ලාස් එකෙන් එලියට ගියහම කිරි පැකට් එකක් අරන් දෙන්න....


කිරි පැකට්.... අඩෝ ඒ ඉන්ෆොමේශන්ස් ටික රුපියල් තිහකට වඩා වටිනවා බං....


හරි හරි බල්ලො... සෙට් උනොත් සවාන් එකක් අරන් දෙන්නම් තනියෙම කන්න.....


මේ උඹ ඔහොම නම් ඉදලා හරිය්න්නෙ නෑ ගොයියො.... ගිහින් වචනයක් දාලා බලපං....


ඔව් බං වචනයක් දාන්න ඕන.... ඒත් කොහොමද ?


ජිනේ ගිය සතියෙ උඹත් ආවෙ නෑ නේද ? 


උඹට මතක නැද්ද බං ....ගියෙ සතියෙනෙ අර කලිදුවගෙ ආච්චිගෙ මල ගෙදර ගියෙ...


අඩෝ ජිනේ කලිදුවගෙ ආච්චි නම් දෙයියෙක් බං...


ඒ මොකෝ බං එක පාරටම..... 


වරකො යන්න ක්ලාස් එකට......


මම ජිනේවත් ඇදගෙන ක්ලාස් එක ඇතුලට ගියෙ නිකන් කරන්ට් වැදුනා වගේ....


අපි ක්ලාස් එකට යද්දි ශෝභා , ක්ලාස් එකේ පිටිපස්සෙ පෝලිමකට වෙලා තනියම පොතක් බල බල හිටියා.... 


මම හෙමින් සීරුවේ ශෝභා ලගට අඩිය තිබ්බා....


එක්ස්කියුස් මී..... ඔයා ගිය සතියේ ක්ලාස් ආවද ? 


මම හරි අමාරුවෙන් ඇහුවා... අම්මෝ හාට් එක ගැහෙනවා දඩ දඩ දඩ ගාලා...


හෙමින් සීරුවේ මගේ පැත්තට ඔලුව හරවපු ශෝභා හරි හෙමිහිට උත්තර දුන්නා..... 


ඔව්.. ආවා........


අනේ ගිය සතියෙ අපි ක්ලාස් ආවෙ නෑ.... මගේ යාලුවා මැරිලා ආච්චිගෙ මල ගෙදර ගියා....ඒක කියපු ගමන් ශෝභා ට හිනා ගියා, හයියෝ වැඩේ වැරදුනා... තිබ්බ කලබලේට වචනත් පැටලුනා.....


සොරි... මගේ යාලුවගෙ ආච්ච් නැතිවෙලා මල ගෙදර ගියා ..... මම ඒක හරි ගැස්සුවත් එයා දිගටම හිනා වුනා.....


ඔයාගෙ ගිය සතියෙ නෝට්ස් ටික ගන්න පුලුවන් ද ? අන්තිමේදි මම හොද හුස්මක් අරන් ඇහුවා....


ආහ්.. ඕකේ ගන්න.... එයා හිනාවෙලා පොත් දෙක මගෙ පැත්තට දික් කලා...


ඔයාට ලේට් වෙන්නෙ නැත්තම්... හවසට විනාඩි දහයක් ඉන්න පුලුවන් ද.. ඉක්මන්ට මම ෆොටෝකොපියක් ගහලා දෙන්නම්.... මම හෙමින් සීරුවේ කිව්වා.....


ඔයා යන්නෙ ඉස්සරහ කඩේටද ෆොටෝකොපි ගහන්න...?  එයා මගෙන් ඇහුවා.... 


ඔව්ව්..... මම ඔලුව වැනුවා...


ආහ්.. මාත් එතන්ට යන්න ඕන ෆෝන් එකට කාඩ් එකක් දාගන්න....එයා එහෙම කිව්වහම එක පාරටම මට ගණදෙවි නුවණ පහල වුනා...


මම ඉක්මන්ට ජිනේ ලගට ආවා....ජිනේ ඉස්සරහ කමිනිකේශන් එකේ අයියව උඹ දන්නවා නේද ?


ඔව්... ඒ පාර මොකද බං....


මේ පොඩි උදව්වක් කරලා දියන්කෝ.....


ඒ මොකද්ද බං....


මේ ඒ අයියට කියපංකො අපිත් එක්ක එන කෙල්ල ඇවිත් අහද්දි ෆෝන් කාඩ් රීලෝඩ් නැහැ කියන්න කියපංකො.... ඒ වෙනුවට ඒ කාඩ් අපි ගන්නවා කියමු.....


පිස්සුද.... යකෝ... එහෙම මගුල් කරන්න පුලුවන් ද.. ඊටත් මොන කෙල්ලද.....


මං පස්සෙ මුලු සිද්දියම පැහැදිලි කලත් ජිනේ වැඩේට කැමති උනේ නෑ...... පස්සෙ මූ මට දෙහි කප කපම ගත්තා කඩේ අයියට කෝල් එකක්..


විනාඩියක් විතර කතා කරපු ජිනේ කට කොනකින් හිනාවෙලා මගෙ දිහා බැලුවා....


මොකෝ බං උනේ වැඩේ ගොඩද ?


උඹ නම් සිරාවටම ලක්කාරයෙක් බං....ජිනේ හිනාවීගෙනම කිව්වා...


ඇයි බං මොකෝ සීන් කෝන් එක ? ජිනේගෙ කුප්ප හිනාව අල්ලන්නෙ නැති පාර මම ඇහුවා...


උගේ කඩේ කාඩ් රීලෝඩ් ඉවර වෙලා බං එන්නෙ අද රෑටලු.....


ජිනේ ඒක කිව්වහම මට දැනුන සතුට... අම්මෝ.... මතක් වෙනකොටත් ආසයි..... 


හවස්වරුවෙ ක්ලාස් ඉවර වෙලා ශෝභා ගෙ පිටිපස්සෙන්ම කඩේ ඇතුලට ගියා.....


ශෝභා හිනාවෙලා මගේ අතට පොත දීලා කඩේ අයියගෙ පැත්තට හැරුණා.....


අයියෙ සීයේ ඩයලොග් කාඩ් එකක් දෙන්නකො.....


අයියෝ නංගී කාඩ් රීලෝඩ් මුකුත්ම නෑනෙ.... අයියගෙ උත්තරෙත් එක්ක ශෝභාගෙ මූණ මැලවිලා ගියා.... 


මම ෆොටෝ කොපි ගහන්න පොත ජිනේගේ අතට දීලා ශෝභා කඩෙන් එලියට යනවත් එක්කම මාත් කඩෙන් එලියට ආවා.... 


ශෝභා.... මොකක් හරි අවුලක් ද?  මම හෙමින් ඇහුවා...


එක පාර මගෙ පැත්තට හැරුනු ශෝභා පොඩි හිනාවක් දැම්මා....


 කඩේ කාඩ් ඉවරයිනේ.... මට කෝල් එකක් ගන්න විදිහක් නෑ... ලෝන් එකත් ඉවරයි..... ශෝභා එහෙම කිව්වහම මගේ හිත සතුටින් ඉපිලිලා ගියා....


ඔයා මට උදව්වක් කලානෙ.... ඉතින් මාත් උදව්වක් කරන්නම්.... කෝ නම්බරේ කියන්නකො මම ක්‍රෙඩිට් ශෙයා කරන්නම්..... මම හිනාවෙලා කිව්වා....


අයියෝ ඕක මොකද්ද .. පොත දුන්න එක නම්......ඒත් කොහොමද ඒ වෙනුවට ඔයාගෙන් සල්ලි ගන්නෙ.... ශෝභා ඔලුව කස කස කිව්වා...


අයොයෝ මේක උදව්වක්... ඔයා කලා වගේම.....මම එහෙම කියලා හිනාඋනාම ශෝභා හිනාවෙලා එයාගෙ නම්බර් එක හෙමින් හෙමින් කිව්වා....


මමත් ලද අවස්තාවෙන් උපරිම ප්‍රයෝජන අරගත්තා....


වැරදියට හිතන්න එපා...මම ඔයාට කෝල් එක ගන්න මගේ ෆෝන් එක දෙනවා...ඒත් එකපාරක් ඔය විදිහෙ උදව්වක් කරලා ගර්ල් කෙනෙක්ගෙ බෝයි කෙනෙක් මට ප්‍රශ්නයක් දැම්මා.........


ශෝඹ්හට එහෙම කෙනෙක් නැහැ කියලා දැනගෙන හිටපු මම ශෝභාගෙ ෆෝන් එකට ක්‍රෙඩිට් ශෙයා කරන ගමන් කිව්වා.....


අයියෝ..අයියෝ.... මෙයා හිතලා තියෙන දුර එහෙම කෙනෙක්ට නෙවෙයි අනේ කෝල් කරන්න හැදුවෙ...අපෙ නැන්දට... එයා එනවා කිව්වා මාව ගන්න..... ශෝභා හිනාවෙවි කියන අතරෙ ෆොටෝකොපිය  ගහගෙන ජිනේ එලියට ආවා.....


ජිනේගේ අතේ තිබ්බ ශෝභාගෙ පොත ඉල්ලගත්තු මම , ඒක ශෝභගෙ අතට දුන්නා....


එහෙනම් අපි ගිහින් එන්නම්....ගොඩක් තෑන්ක්ස් මේ කරපු උදව්වට .... මම ශෝභා ට කිව්වා....


අයියෝ මම කරපු උදව්ව වගේද ඔයා මට කරපු උදව්ව.... තැන්ක් යූ සෝ මච් ... ශෝභා ලස්සන හිනාවක් එක්ක කිව්වා....


ඒක නෙවෙයි.. ඔයාලගෙ නම් මොනවද....? ශෝභා අපහු ඇහුවා....


මම හර්ශ...එතකොට මේ ඉන්නේ ජිනේන්ද්‍ර ... මම ශෝභා ට අපි දෙන්නගෙ නම් කිව්වා....


ආහ්... තව දෙයක් ඔයා කොහොමද මගෙ නම දැනගත්තේ....? ශෝභා අහපු ප්‍රශ්නෙත් එක්ක මට උතුර දකුණ මාරු උනා... මගේ වාසනාවට හෝ අවාසනාවට ඒ වෙලාවේ ශෝභගේ අතේ තිබ්බ පොත මට පෙනුනා....


අහ්... මේ පොතෙන්.....මම එක පාරටම කිව්ව....


හ්ම්ම්ම්...එහෙනම් මම ගිහින් එන්නම්.... හොද ලස්සන හිනාවක් දාපු ශෝභා හෙමිහිට අනිත් පැත්ත හැරිලා... හෙමින් හෙමින් යන්න ගියා...... 


ඒ දිහා වශී වෙලා වගේ බලා ඉදපු මම පියවි සිහියට ආවේ ජිනේගේ හඩ ඇහිලා.....


******


හර්ශ.... මිනිහෙක් තීරණයක් ගනිද්දි එක පාරක් නෙවෙයි ..සිය පාරක් වත් හිතන්න.ඕන....


ජිනේ මම දහස් වතාවක් හිතුවා....දහස් වතාවක් උත්සහ කලා....මට මේකි එක්ක ඉන්න බෑ....


හර්ශ... මචං මට තේරෙනවා....උඹ මේකිව ඩිවෝස් කරලා මොකද කරන්නෙ...තව කෙනෙක්ව බදින්නද....ඒකිත් මේ වගේ උනොත්....


මට ආයේ කිසිම දවසක කසාද එපා....


මම කියන්නෙ එකම එක පාරක් උඹ උත්සහ කරලා  බලපන්....


ජිනේ....උඹ පේපර්ස් රෙඩි කරපන්.... වෙන කිසි කතාවක් නැහැ..... ඩිවෝස් එක වෙනවා....


*******


ගොම් බූරුවෝ... ඒ පොතේ කිසි නමක් තිබ්බෙ නැහැ....ජිනේ ඒක කිව්වහම වැඩේ කාගත්තා වගේ හැගීමක් ආවත් ඒක ජිනේට පෙන්වන්නෙ නැතුව පොඩි හිනාවක් දැම්මා....


කමක් නැහැ බං....ඔන්න ඔහේ ඒකි දැනගත්තාවෙ මං ඒකි ගැන හිතනවා කියලවත්.....


උඹ ගැන කෙසේ වෙතත් උඹ හරකෙක් කියලා නම් හිතයි ඔහොම හරක් වැඩ කලොත්.... ජිනේ හිනාවෙලා කිව්වා ...


එදා හවස ගෙදර ගියෙ පුදුමාකාර සතුටකින්....වචනයෙන් විස්තර කරන්න බැරි සතුටක්... ඇත්තටම මාර මෙව්වා එකක් ඒක......


ශෝභා ගෙන් ඉල්ල ගත්තු නෝට් එකේ ෆොටෝකොපියෙ තියෙන අකුරු දිහා බලාගෙන එයාගෙ ලස්සන මූණ මතක් කර කර ඉන්නකොට එක පාරටම නින්ද ගියා..... 


මං දඩි බිඩි ගාලා ඇහැරුනේ....අම්මා කතා කරපු සද්දෙට....කන්න එන්න කියලා කතා කරපු සද්දෙත් එක්ක අඩියට දෙකට නැගිටලා දුවන්න හදපු මම ෆෝන් එක අතට අරන් බැලුවෙ නිකමට වගේ.... 


නිව් මැසේජ් කියන නොටිෆිකේශන් එක නිසා මැසේජ් ඕපන් කරලා බැලුවෙ ඩේටා ටික වාශ්ප වෙලා ඇති කියලා හිත හදාගෙන....


ඒ මැසේජ් එක දැකපු වෙලේ....අම්මපා මට කෑමත් එපා උනා.... ශෝභාගෙන් මැසේජ් එකක් දෙයියනේ......වාසනාව දොර ඇරලා බලනවා..... සමන් මල් පියල්ලේ.....නීල නුවන් ඈගේ දිලිසෙන තෝඩු දෙකක් වාගේ....... ජුම්බලකා ජුම්බලකා ජුඹල ජුඹාලේ......මම සින්දු කෑලි ටිකක් කියාගෙන තනියම උඩ පැන්නා....


තව පොඩ්ඩෙන් මැසේජ් එක ඇතුලට යන්න බැරි වෙනවා.....


"හර්ශ... මම ශෝභා... මැසේජ් එකක් දාලා ඩිස්ටර්බ්  කරනවට සොරි.. ඒත් මේක නොකියම බැහැ... ඔයා.අද ශෙයාර් කරපු ක්‍රෙඩිට්ස් ටික මට ලොකු හෙල්ප් එකක් උනා... ඒ ටික නැති උනා නම් මං ලොකු අමාරුවක වැටෙනවා... ඒ හරියෙ රීචාර්ජ් කරගන්න කඩයක් වත් නැහැනෙ....මං දන්නවා ඔයා කලේ උදව්වක් කියලා... ඉතින් මේ කාඩ් එක තියාගන්න.... 1345 6787 8991 .. ආහ්...තව දෙයක්....මගේ නම දැනගත්තෙ පොතෙන් කියන බොරුව මම අමතක කරන්නම්...... තැන්ක් යූ.. බායි..."


 ඒ මැසේජ් එක මම  සිය පාරකට වඩා නම් කියවන්න ඇති.... හම්මෝ... මොකද්ද මම දෙන උත්තරේ...... එක වෙලාවකදි මට තරහකුත් ආවා....කාඩ් එකක් එවලා නිසා......මැසේජ් හතර පහක් ටයිප් කරලා ආපහු ඩිලීට් කලා.....


"ශෝභා.... කාඩ් එක මට ගන්න බැහැ... මොකද මම කලේ යාලුවෙක්ට උදව්වක් නිසා....හැබැයි නම ගැන බොරු කිව්ව එකට සොරි " අන්තිමේ මම ටයිප් කරලා යැව්වා......


හ්ම්ම්ම් දෙවියන්ගෙ පිහිටෙන් කාලය ලස්සනට ගෙවිලා ගියා....ඊලග දවසෙ ක්ලාස් යද්දි මමයි ශෝභයි... හොදම යාලුවො... 


එදා ඉදන් මම , ශෝභා , ජිනේ.... අපි තුන් දෙනාම හිටියෙ හොදම යාලුවො විදිහට.... 


ටික කාලයක් යද්දි ශෝභයි මමයි ටිකෙන් ටික ලං වුනා.... ඒ එයයි මායි අතර තිබ්බ එක එක විදිහෙ සමානකම් නිසා....ශෝභටයි මටයි තිබ්බෙ එකම විදිහෙ චොයිසස්.... එයයි මමයි දෙන්නම කැමති ෆෘට් ඇන්ඩ් නට් අයිස්ක්‍රීම් .... ඒ වගේම කසාද බදින්න කැමති පන්සලක....චාමෙට.....ඉතින් ශෝභා ගෙ ගතිගුණ වලටත් මම ආදරය කරන්න පටන් ගත්තා..... 


අම්මා තාත්තා නැතුව හැදුනු ලමයෙක් උන ශෝභා හරිම නිවිච්ච මේ විදිහෙ කෙනෙක් උනේ කොහොමද කියලා එයාව ආශ්‍රය කරද්දි මට තේරුම් ගියා.... අවුරුදු එකහමාරක් විතර ආස්‍රය කරලා.... එක දවසක් ගෝල් ෆේස් එකේදි මම ශෝභගෙ ඉස්සරහ කෙලින් හිටගත්තා..... 


ශෝභා ....... 


මොකද හර්ශ මේ භූතයෙක් දැකලා වගේ මගේ ඉස්සරහ හිටගත්තෙ....ශෝභා හිනාවෙවී ඇහුවා...


ශෝභා මම ඔයාට ආදරෙයි......අන්තිමේදි අවුරුදු එකහමාරක් විතර හිතේ හිරකරන් හිටපු දේ මම ශෝභට කිව්වා.... අම්මෝ ඒ වෙලාවෙ දැනුන සනීපෙ.... ඔලුවෙ තිබ්බ අලගෝනියක් බිමින් තිබ්බ වගේ.....හැබැයි ඒකටත් එක්ක හරියන්න හාට් එක දඩ දඩ ගාලා ගැහෙන්න ගත්තා.........


විනාඩියක් විතර මගේ දිහා පුදුමවෙලා වගේ බලා හිටපු ශෝභා , එයාගෙ බෑග් එක ඇරලා කුඩේ එලියට ගත්තා.... 


මදැයි කොලා මෙයා ශුවර් තරහ වුනා... කුඩෙත් ඉහලගෙන තනියම ගෙදර යයි වගේ....මම කුඩේ ගන්න දිහා බලාගෙන හිතුවා.....


කුඩේ එලියට ගත්තු ශෝභා, මොකද මනුස්සයො ඕක කිය්නන මේ තරම් කල්ගියෙ....කියලා කුඩෙන් ගහගෙනෙ ගහගෙන ගියා..... 


ආව් ආව්... පාරවල් දෙකතුනක් කාලා කුඩේ අල්ලගත්තු මම ශෝභාගෙ ඇස් දෙක දිහා කෙලින්ම  බැලුවෙ එයා මාව තේරුම්ගන්න ඕන නිසා.....


ඔයා මට ඇත්තටම ගොඩක් ආදරේද ? ශෝභා හෙමිහිට ඇහුවා.....මම හෙමිහිට ඔලුව වැනුවෙ.. ඒක එයාටම තේරුම්ගන්න දීලා....


ශෝභා එයාගෙ ආදරේ මට කිව්වෙ මගේ උරහිසින් ඔලුව තියාගෙන....


******


මේ අහනවා... තමුසෙගෙයි මගෙයි ඩොකියුමන්ට් ගණුදෙනුව ගොඩක් ඉක්මන්ට ඉවරවෙයි....මගේ ලෝයර් තමුන්ගෙ අතටම ඩිවෝස් පේපර්ස් ගෙනල්ලා දෙයි.....


ආහ්.... එහෙමද ? පුදුමයි තමුසෙට දැන්වත් මොලේ පෑදුනා....තමුසෙ නොකලත් මම තව ටික දවසක් බලලා ඕක කරන්නෙ හිටියේ...


එහෙනම් තමුසෙට ලේසිවෙයි..... අත්සන දාලා ඕන මගුලක මකබෑවෙනවා.....


ඒක තමුසෙ මට අමුතුවෙන් කියන්න ඕන නෑ...


මෙහෙ මං නැවතිලා හිටියට තුටු පඩුරු මං තමුසෙට දීලයි යන්නේ..... තමුසෙගෙන් ඩිවෝස් එකේදි එක සතයක දෙයක් මට එපා... ඒ තෑග්ග තමුසෙ තියාගන්නවා........


*****


මේ විදිහට පටන් ගත්තු මගෙයි ශෝභගෙයි ආදරේ හරි ලස්සන කතාවක් වගේ හෙමින් හෙමින් ගලාගෙන ගියා.... ශෝභා ගෙ හැම දෙයක්ම මම වෙද්දි මගේ හැම දෙයක්ම ශෝභා වුනේ මටවත් හිතාගන්න බැරි විදිහට.....


අපි දෙන්නට අපි දෙන්නා නැතුව තප්පරයක්වත් ඉන්න පුලුවන් උනේ නෑ.... අපි පුලුවන් තරම් ආදරෙන් හිටියා.... අඩුමගානේ අපි දෙන්නා අපි දෙන්නට සද්දෙන් කතා කරගෙනවත් නැහැ...... ඒ තරමටම අපි ආදරේ කලා....ශෝභා අසනීපඋනොත් මම අසනීප වෙන තරමටම අපි ආදරේ කලා.....ඒ ආදරේ වචනෙන් විස්තර කරන්න තරම් සාහිත්‍ය දැනුමක් වත් වචනවත් මගෙ ලග නැහැ....  ඒ තරමටම මම මගේ ශෝභා ට ආදරේ කලා.....


ඉන්ටීරියර් ඩිසයිනර් කෙනෙක් විදිහට මම  ඩිග්‍රි එක ගත්තට පස්සෙ අවුරුදු දෙකක් ලංකාවේ වර්කින්ග් එක්ස්පීරියන්ස් අරගෙන ඔසි වලට යන්න හැදුවෙ මගෙයි ශෝභාගෙයි දෙන්නගෙම අනාගතේ ලස්සන කරගන්න....


මම යන්න කලින් අපේ ගෙවල් වලට කියලා මේ කසාදෙ ස්ථීර කරගන්න කොයිතරම් මහන්සි උනත් ශෝභාගෙ නැන්දලා නිසා අපිට ඒක කරගන්න ලොකු මහන්සියක් වෙන්න උනා..... ශෝභගෙ නැන්දලා මාමලාගෙ ගෙදර ගිහින් යන්න කලින් එන්ගේජ්මන්ට් එකවත් ගමු කියලා අපි කරපු යෝජනාවට එක පයින් ඒ අය විරුද්ධ උනා.....කොයි තරම් දහන් ගැට දැම්මත් ඒක කරගන්න මටවත් ශෝභටවත් බැරි උනේ අපි නොහිතපු විදිහට......එයාලා කිව්වෙම මම ගිහින් එන පලවෙනි සැරේම එන්ගේජ්මන්ට් එක ගමු කියලා.....


අන්තිමේදි වෙන කරන්නම දෙයක් නැති තැන මායි ශෝභා යි දෙන්නම එයාලා කියන විදිහක් කරන්න එකග උනා......


ශෝභා ව දාලා මම රට ගියේ නොයා බැරිකමට මිසක් කිසි ආසවකින් නෙවෙයි ඒ දවසෙ අපි කොයිතරම් ඇඩුවද කිව්වොත් ශෝභගෙයි මගෙයි ඇදුම් තෙත් වෙනකම් අපි ඇඩුවා ශෝභගෙ අත අතැරලා මම යද්දි මට දැනුනෙ මම මගෙ ලෝකේම අතෑරලා යනවා කියලා............මම ගිහින් මාස හයකට විතර පස්සෙ අහන්න ලැබුනේ ශෝභා ගෙ අත්තම්මට හොදටම අසනීප වුනා කියලා.....


කොහොමින් කොහොම්හරි මම ලංකාවට එන්න සතියකට කලිනුත් මම ශෝභට කතා කලා......ශෝභා මගෙ පැටියො මම ලබන සතියෙ ආවට පස්සෙ ඔයා සදහටම මගේ විතරයි.....මම එහෙම කිව්වහම එයා හෙමිහිට හිනා වුනා....


ෆ්ලයිට් එකට නගින්න කලින් දවසෙත් , නගින දවසෙත් කොයි තරම් කෝල් කලත් ශෝභා ගෙ ෆෝන් එක වැඩ කලේ නැහැ..... ෆෝන් එක ඕෆ් වෙලා.....


ඉතින් ලංකාවට පයතියලා ගෙදට්ට ආපු ගමන්ම හැරෙන තැපෑලෙන් ගියෙ ජිනේව හොයාගෙන.... මොකද ජිනේ නැතුව මගේ ශෝභා ගෙ සප්‍රයිස් එක මට හරියට දීගන්න විදිහක් නෑ...


ජිනේ මාව දැක්කහම එක පාරට දාගෙන හිටපු කණ්නාඩියත් ගලවලා බැලුවෙ මිනිහා දකින්නෙ හීනයක් නෙවෙයි නේද කියන එක හරියටම දැනගන්න...


උඹ හැමදාම කියන වෙලාවට කලින් පෙනී ඉන්නවා නේද ?


එහෙම තමයි ලෝයර් මහත්තයො... උඹ වගේ නඩු වලට පරක්කු වෙන්නෙ නැහැ මම...


වරෙන් යන්න ඉක්මන්ට ....මම ජිනේගේ අතින් ඇද්දෙ මගේ ශෝභව බලන්න යන්න තිබ්බ ආසාව වැඩිකමට....


කොහේ යන්නද බං මේ ආපු ගමන් ... ජිනේ ඇහුවේ පුදුම වෙලා වගේ......


ඇයි බං බල්ලො අමතක උනාද....මගේ ශෝභව බලන්න යන්න... මම ගිහින් එකපාරටම එයාව සප්‍රයිස් කරන සීන් එක වීඩියො කරගන්න ඕන.....


මම එහෙම කියවගෙන යද්දි ජිනේ මගේ මූණ දිහා බැලුවෙ... තාත්තා කෙනෙක් පුතා දිහා බලනවා වගේ....


මොකද බං නිකන් දාහට අරන් රුපියල් දහයට දීලා වගේ... ඉක්මන්ට වරකො යන්න......මම ජිනේට ආපහු කතා කලා....


ඉස්සෙල්ලා මෙතනින් වාඩිවෙයන්කො...මට උඹට කියන්න දෙයක් තියෙනවා ......ජිනේ කිව්වෙ හරි අමුතු විදිහට.... 


ජිනේග් කතාවත් අහලා යනවා කියලා ජිනේට ගෙනාපු තෑගි පාර්සලෙත් අතට දීලා මම පුටුවෙන් වාඩි උනා....


ජිනේ ගේ ඇතුලට ගිහින් හෙමින් හෙමින් අපහු ඇවිත් මගේ ලගින් වාඩි උනා....


ඉතින් බං .. කොහොමද උඹේ වැඩ කටයුතු.....ජිනේ ඇහුවේ මම කලින් කියපු දේවල් ගැන ගණනකටවත් ගන්නෙ නැතුව....


වැඩ නම් ඔහේ යනවා බං...මං ආවේ එකපාරම වෙඩින් එක ගන්න හිතාගෙන....මම හිනාවීගෙනම කියද්දි ජිනේ මගේ උරහිසට අත තිබ්බෙ අහක බලාගෙනම....


පුතා එහෙ ගිහින් ලස්සන වෙලා.... ගේ ඇතුලේ ඉදන් ජිනේගෙ අම්මා ආවේ අපිට බොන්න බීමත් හදාගෙන....


තැන්ක් යු තැන්ක් යූ ආන්ටි... එහෙ ඉතින් එහෙට මෙහෙට දුවන එකම තමයි කලේ....මම හිනාවෙලා කිව්වා....


පුතා වගේ දරුවෙක් එක්ක එකවහලක් යටට යන්න අර දැරිවිට පින නෑ....... පින නෑ...... එක පාරටම ජිනේගේ අම්මා කිවුවෙ ලොකු තරහකින්....


ඒ මොකද්ද කිව්වෙ කියලා අගක් මුලක් නොතේරුන මම ජිනේගේ මූණ දිහා බැලුවෙ...කිසි දෙයක් හිතාගන්න බැරුව....


අම්මා යන්නකො ඇතුලට .. හර්ශ ආවා විතරනේ..... ජිනේ ටිකක් සැරෙන් කතා කලහම ජිනේගේ අම්මා ගේ ඇතුලට ගියේ තරහ මුහුණත් එහෙම්ම තියාගෙන.....


ජිනේ.... මොකද්ද ඒ උඹලගෙ අම්මා කිව්වෙ....?


මම ජිනේගෙන් ඇහුවෙ කිසි දෙයක් හිතාගන්න බැරුව.....


මුකුත් නෑ බං උඹ ඕවා හිතන්න එපා...මම පස්සෙ කියන්නම්....ජිනේ කිව්වෙ මගෙන් මූණ හංගගෙන....


ජිනේ ... උඹ මට දැන් මොන මගුලක් උනත් ... ඒක කියපං... උඹ මට හංගන්නෙ මොන මගුලක්ද ? මං ආපු වෙලාවෙ ඉදන් උඹ මගෙ මූණ මගාරිනවා.... මං ශෝභා ගැන ...............හත්දෙයියනේ එතකොටයි මගෙ ඔලුවට ආවෙ.....


ශෝභා ඔව්ව්.....ශෝභා තමයි...... ජිනේ මට ඇත්ත කියපං...ශෝභා ට මොකද උනේ...... ජිනේ මට ඇත්ත කියපං මගේ ශෝභට මොකද උනේ............මගේ ඇස් වලින් කදුලු වැටෙන්න ගත්තෙ මම නොදැනුවත්වම..... ජිනේ කියපං මට ප්ලීස්..... මගේ ශෝභා ට මොකද උනේ...?


ශෝභා ට මුකුත් උනේ නෑ බං.... ජිනේ අන්තිමට හෙමින් කිව්වෙ... මගෙ මූණ දිහාවත් නොබලම...


එහෙනම් මොකද්ද උනේ.....?  මට ඇත්ත කියපං...


මං එහෙම කිව්වහම මගේ මූණ දිහා හරි දුකෙන් බලපු ජිනේ අන්තිමට මගෙ මූණ දිහා බලලා කතා කරන්න ගත්තා....


ශෝභා ට මුකුත් උනේ නැහැ බං...ඒත් තවදුරටත් ශෝභා උඹේ නෙවෙයි.....එහෙම කියපු ජිනේ ෆෝන් එක අරගෙන මට පෙන්නුවෙ වෙඩින්ග් ෆොටෝ එකක්..... ඒ ෆොටෝ එක දැකපු මගෙ කකුල් දෙක පන නැති වෙලා ගියේ මං නොදැනුවත්වම ..... එක පාර මාව බිම ඉන්දවුනේ කඩන් වැටෙන ගහක් වගේ...... ඔව් ......... ඇත්තටම මාව ඒ වෙලාවෙ කඩන් වැටුනා.....මම ආයෙත් ෆොටෝ එක දිහා බැලුවෙ මගෙ ඇස් දෙක මට බොරුවක් කරලද කියන දේ හරියට දැනගන්න....


නැහැ.... මගෙ ඇස් දෙක මට බොරු කරලා තිබ්බෙ නැහැ..... නාදුනන පිරිමි කෙනෙක්ගෙ එහා පැත්තෙ ...ලස්සනම ලස්සන වෙඩින් සාරි එකක් ඇදගෙන හරි ලස්ස්න මනාමාලියක් හිටියා.....ඒ වෙන කවුරුවත් නෙවෙයි මගේ ශෝභා කියන එක පිලිගන්න මගේ හිත ඉඩ දුන්නෙ නැහැ..... 


මට දැනුනෙ මගේ ලෝකෙම මට නැති උනා කියලා....


පනට පන වගේ ආදරේ කරපු මට මොකද උනේ....ඇයි මගේ ශෝභා ඒ විදිහට මාව දාලා ගියේ........පිස්සෙක් වගේ බිම වාඩිවෙලා හිටපු මාව ජිනේ වත්තම් කරලා පුටුව උඩට ගත්තා.....


මං කරපු වැරැද්ද මොකද්ද ? .....


උඹ කිසි වැරැද්දක් කලේ නැහැ බං...... හැමදේම උනේ ගොඩක් ඉක්මන්ට ...උඹ දන්නවනේ ඒකිගෙ ගෙදරින් උඹට වැඩි කැමැත්තක් තිබ්බෙ නැහැ.....


අත්තම්මා නැති උනත් හරි......


ජිනේ මොකද්ද උඹ කියන්නෙ අත්තම්මා නැති උනා.....ඒත් මං දැනන් හිටියෙ...


ඔව් ශෝභා කිව්වා උඹ කලබල වෙලා වැඩ පාඩු කරගෙන දුවගෙන එයි  ඒක නිසා කියන්න එපා කියලා.... උඹ ලංකාවට ආවහම හෙමිහිට කියන්න නිසයි අත්තම්මට අමාරු උනා කිව්වෙ...ඉතින් මාත් ඒක නොකියා හිටියෙ උඹ ගැන දන්න නිසා....


ඊට පස්සෙ මොකද උනේ.. ඔක්කොම මට දැනගන්න ඕන.... මට දැනගන්න ඕන මගේ ශෝභා මට එහෙම කලේ ඇයි කියලා....මම කදුලු පිහදාගන්න ගමන් කිව්වා...


හ්ම්ම්ම්ම්ම්....ඊට පස්සෙ ශෝභා ගෙ නැන්දලා ශෝභා ට නොසෑහෙන්න වද දුන්නා..... ශෝභාගෙ නැන්දලාගෙ සල්ලි ප්‍රශ්න වලට එකම විසදුම උනේ ශෝභගෙ මාමගේ යාලුවෙක්ගෙ පුතෙකුට ශෝභව බන්දලා දෙන එක.....මම මේ හැම දෙයක්ම දැනගත්තෙ මීට ටික දවසකට කලින්.... ශෝභගෙ කසාදෙට පස්සෙ දවසෙ..... මම හිතන්නෙ උඹ ශෝභට අන්තිමට කතා කලෙත් එදාම තමයි.....


ඇයි ශෝභා මට මේ දේවල් කිව්වෙ නැත්තෙ .....මම ජිනේ දිහා බැලුවෙ ගොඩක් අසරණ වෙලා.....


මං හිතන්නෙ ශෝභා කැමති උනේ නැහැ එයා වෙනුවෙන්වත් උඹේ හීනේ අතඇරලා මෙහෙ එනවට.....ඉන්ටීරියර් ඩිසයිනර් කෙනෙක් විදිහට උඹ  නමක් හදාගන්න එක ඒකිගෙත් හීනයක් උනා බං.... ඉතින් ඒකි නැත්ත උඹේ හීනෙට යන්න ඒකි උඹෙන් අයින් උනා.....අනිත් දේ..... ඒකි අම්මා තාත්තා නැතුව ගොඩක් අසරණ උනා බං...........ජිනේ කිව්වෙ මගේ උරහිසට අතතියාගෙනම මගේ මූණ දිහා බලන ගමන්.....


ඊට පස්සෙ එකම එක පාරක් කතා කරන්න මම ශෝභාව කොයිතරම් හෙව්වත් මට එයාව හම්බවුනේ නැහැ...පස්සෙ මට ආරංචි උනේ ශෝභා ලංකාවෙන් හස්බන්ඩ් එක්ක ගියා කියන දේ විතරයි.....


ශෝභා ගෙ මතකය එක්කම ආපහු ලංකාවෙන් ගිය මම මාස හයකට පස්සෙ ආවෙ මගේ කසාදෙට ....


ඔව් මගේ නොවන මගේම කසාදෙට .... කසාද බදින්න තියා ඒ ගැන කිසිම ෆීල් එකක් නැති ගල් හිතක් වෙලා තිබ්බ මට කසාද ගැන තිබ්බෙ පුදුම තරහක්.....කසාද කියන දේ හොයාගත්තු එකා හම්බඋනොත් උගෙ බෙල්ල මිරිකන්න තරම් තරකින් මම හිටියෙ.....


අම්මලගෙ සතුට වෙනුවෙන් මම කැමති වුන එකීව හා හා පුරා කියලා මම දැක්කෙ කසාදෙට සතියකට කලින්.....


දිගටි මූණක් එක්ක මැච් වෙන හෙන පන්ඩිත ලුක් එකක් තිබ්බ එකීව දැක්ක ගමන් මට හිතුනෙ ජනේලෙන් එලියට විසි වෙන්න පයින් එකක් ගහන්න.....


කසාදෙට කලින් ටිකක් කතා කරලා අදුනගන්න කියලා අම්මලා අපිව තනි කරලා ගියේ මොන මගුලකටද කියලා හිතුන වාර අනන්තයි....


පැය බාගෙකට විතර පස්සෙ ෆෝන් එකෙන් එලියට ඇවිත් ඒකිගෙ මූණ දිහා බැලුවෙ හරි නැති නිසා.....අනිත් දේ....... මේකිත් එක්ක ජීවිත කාලෙම ඉන්න වෙනවා කියන බයත් හිතේ තියාගෙන.....


වා නම් වා....පෝ නම් පෝ කියලා මම ම කතාවට බහින්න හිතුවා.....


ඔයා... රවීණා ... නේද? මම හෙමිහිට ඇහුවා


කට කොනකින් හිනා වුන මේකි මගෙ දිහා බැලුවෙ නෝන්ඩියට වගේ......


ඔයා හිතනවද මම රවීණා නොවුනනම් මෙතන තමුන් එක්ක වාඩිවෙලා ඉදි කියලා....


අම්මටසිරි වෙනවා කිව්වලු... වස නෝන්ඩිය....ඒකි එහෙම කිව්වහම මට පොලොව පලාගෙන යන්න හිතුනා....මේකිව කොරවෙන්න දෙන්න ඕන... එහෙම හිතපු මම තව ප්‍රශ්නයක් ඇහුවා.....


ඔයා ... බෑන්ක් එකේ නේද වැඩ කරන්නෙ.....මොකද්ද පොසිශන් එක.....ඇගට නොදැනි ඇහුවෙ බ්‍රාන්ච් මැනේජර් කියලා දැනගෙනම තමයි.....


බ්‍රාන්ච් මැනේජර් මම.....


එතකොට ඩිග්‍රි එක ? මම ආපහු ඇහුවා....


ජපුර මැනේජ්මන්ට් ....එම්. ඒ එක කැලණියෙ.....


ඔයා ප්‍රයිවට් නේද කලේ....


ඒක අහපු ගමන් උතුර දකුණ මාරු උන මම හෙමිහිට ඔලුව වැනුවෙ විලිලැජ්ජාව වැඩි කමට...


ශිට් කිසි කෙනේක් කිව්වෙ නැහැනෙ මේකි මේ තරම් පොරක් කියලා ශිට්... යකෝ ඩිග්‍රි ගැන කියද්දි එම් ඒ එක ගැන කියන්න ගෙදර අයට යුතුකමක් තිබ්බනේ..... කොහොමින් කොහොමහරි ප්‍රශ්න දහයක් විතර අහද්දි ප්‍රශ්න විචාරාත්මක වැඩ සටහන සාර්ථක ලෙස අවසන් උනා....


කියන්න දෙයක් නැහැ..... ගොඩක් ලොකුවට ප්‍රසිද්ධ හොටෙල් එකක හෙන ලොකුසීන් ගොඩක් එක්ක අපේ වෙඩින් එක සිද්ධ උනා.... හැම වෙලාවකම මම මූනේ හිනාවක් තියාගෙන හිටියෙ වෙන කරන්න දෙයක් නැති කමට.... ඒ හිනාව යටින් පත්තු උන ගින්දර ගිණි ජාලාවක් විදිහට මගේ ඇග පුරාම දුවන්න ගත්තා....


එදා රෑ වෙඩින් එක ඉවර වෙලා හොටෙල් එකේම නැවතිලා හිටියා.....මම එදා රෑම එලියට වෙලා ජිනේ එක්ක කතා කර කර හිටියෙ මට මේ මොන හුයන්නක්ද උනේ කියලා...


දැන් මොකද්ද උඹේ කල්පනාව.....ජිනේ ඇහුවෙ මං කල්පනාවක ඉන්නකොට.....


මොනවා කරන්නද බං ... ඩිවෝස් වෙන්න තමයි....


ඈ බං පරයො... තොගෙ මොලේ අවුල්ද .. වෙඩිම ඉවරවෙලා පැය තුනක් යන්නත් කලින් ඩිවෝස් වෙන්න.....ජිනේ කිව්වෙ මං ඒක විහිලුවට කිව්වා කියලා හිතාගෙන......


ඔව් බං ඒක තමයි ඇත්ත.... මම ජිනේගෙ මූණ දිහා බලාගෙන කියපු විදිහෙන් ජිනේ තේරුම්ගත්තා මං කිව්වෙ බොරුවක් නෙවෙයි කියන එක.....


ඔය ඇත්තටම ද කියන්නෙ බං.....ජිනේ මගේ දිහා බැලුවේ හෙන සීරියස් විදිහට...


ඔව්.... ඇත්ත තමයි බං.....මම ඇගට නොදැනි කියලා දැම්මා...


අර කෙල්ලට මොකද බං එතකොට වෙන්නෙ.....ජිනේ කිව්වෙ කිසි දෙයක් හිතාගන්න බැරුව....


කවුද රවීණද ? ආහ්... ඒකි තමයි අයිඩියා එක දුන්නෙ බං ......මං හිනාවක් දාලා කිව්වහම ජිනේගේ උතුර දකුණ මාරු උනා..  


මොකද්ද මොකද්ද ඒ කතාවෙ තේරුම... ජිනේ ඇහුවෙ කිසි දෙයක් හිතාගන්න බැරුව....


මේකයි.... රවීණත් මේ කසාදෙට පොඩ්ඩක් වත් කැමති නැහැ.... ඉතින් එයා මට පොඩි ඔෆර් එකක් දුන්නා.....


ඔෆර් එකක් .. ඒ මොකද්ද ? ජිනේ ඇහුවෙ කුතුහලෙන් පරතෙරටම ගිහින්....


To be continued


  -හර්ෂණ සිංහබාහු...


* මෙහි එන කතාව නම් ගම් චරිත සියල්ල මනංකල්පිත වේ....

* කතෘ ගේ අවසරයකින් තොරව උපුටා ගැනීමෙන් වළකින්න...


Comments

Popular posts from this blog

පීතෘ කෙටිකතාව l අහිමි වී ගිය පිය සෙනෙහසක වා තලයට මුසු වූ ශෝකාන්තය

Divorce Episode 2